ශ්‍රී ලංකාව යනු ඉන්දියන් සාගරයේ මුතු ඇටයයි කීවේ එදාය.අද ශ්‍රී ලංකාව යනු දූෂණයේත් වංචාවේත් මහගෙදර වැනි යැයි කීම වඩාත් ගැලපේ යන්න මාගේ හැගීමයි. මෙරට පාර්ලිමේන්තුව මේ දරුවන්ගේ අම්මා වී තිබේ.දූෂණය,මැරකම,වංචාව මේ සියල්ල හැදී වැඩෙනුයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වටාය.අද මෙරට දේශපාලන වේදිකාවේ වඩාත් කතා බහට ලක් වෙන මාතෘකාව තමයි ඉහල ගිය මැති ඇමති වැටුප.මහා ලොකු රාජකාරියක් කරනවා යැයි කියන ඇමති උන්දලාගෙ වැටුප් වැඩි වීම පිලිබදව මහජනතාව නම් මහත් සේ කණගාටු වේ.අහෝ!! දුකකි.රටේ ජනයා තව දුරටත් පීඩාවට ලක් වේ.සුර සැප ඇති මාලිගාවල අහිංසක දුප්පත් ජනතාවගේ මුදල් වලින් දූෂණ වංචාවල මහගෙදරට වී තව දුරටත් සැප විදීමට දුන් තවත් වරමක් ලෙස මේ ඇමති වැටුප් වැඩි වීම හැදින්විය හැක.
තව දුරටත් බලයේ සිටිමින් රට විනාස කරන පිරිසකට ලක්ෂ ගනණින් වැටුප් වැඩි කරනුයේ කිනම් පදනමකින් ද යන්න ගැටලු සහගත වේ.නොවිදිනා දුක් විදිමින් සිය දහඩිය මහන්සිය කැප කරන සාමාන්‍ය පුරවැසියන්ට උන්හිටි තැන් අහිමි වී තිබේ. සිය රාජකාරිය තුල රටට වැඩදායි පිරිසක් බිහි කිරිම උදෙසා කැප වූ ගුරුවරුන්ගේ ගුරු වැටුප තව දුරටත් කප්පාදු කිරීමට බලදාරින්ගේ අවදානය යොමු වී තිබේ.ගුරු වෘත්තියේ වටිනාකම පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට වට වූ හිස් ඔළුගෙඩි දන්නේ නැත.ඒ උන්දලා පාසල් ගියේ අවාරෙටයි.නිකාරනේ පුටු රත් කරන මහත්වරු රටට කරන කෙන්ගෙඩියක් නැත.ඔවුන් තව දුරටත් කරන්නෙ රට කන එකයි.තාමත් මීරියබැද්ද කන්දේ දුක දෝංකාර දෙයි.මීතොටමුල්ලේ කුණු ගද එතැනමය.උමා ඔය තව දුරටත් කදුලු ගගගී.විපතට පත් වූවෝ උන් හිටි තැන් අහිමිව හඩා වැලපෙද්දී දුක්ගන්නාරාළලා සුරලොව සැප සොයයි.මේ අපේ රටේ දේශපාලනඥයින්ගේ ක්‍රියා පටිපාටියයි.ජනතාව සෑමදාම ගොනාට අන්දන්නට ඔවුන් සිතා සිටී නම් මෙරට පොදු ජනතාව අන්ද ගොළු බිහිරෝ විය යුතුය.කාලය ආ සැනින් සියල්ලන්ටම දඩුවම් විදීමට සිදුවේ වී.වැරැද්දට දඩුවම කාටත් පොදු ධර්මතාවක් විනා නිල බලයෙන් මිලදී ගැනීමට හෝ යට ගැසීමට හැක්කක් නොවන බව කවුරු කවුරුත් මතක තබා ගැනීම වටී.